අම්බුලුවාවේ සුළඟ
විමසන්නට වුනි මා කැකෑරෙමින් තිබූ පැනයක්
නක්කලේට සිනාසුනි මීදුම
ආදරය උමතුවක්ද?
වෙලා ගනිමින් සුදුවතින් පෙනෙනා මානය
ඇති කළේ නොරිස්සුම් හැඟුමක් සිත තුළ
'හැකිදැයි මා හිමි කර ගැනුමට?'
ඇසුවේ සුළඟ වැළඳ ගනිමින් දඟ කරනා මීදුම
සිත අසරණ බව දැනමුත් මනස සෙව්වේ මගක් සැල කරන්නට මීදුම
අසාර්ථකය!
මොහොතක කෝපයක් දැනුණි.
සිනාසුනු සුළඟ
මා වත අනවසරයෙන් සිපගත්තේ පිනිබිඳු මතින්
නොකැමැත්තක් මා නැත පෙන්වූයේ
නිහඬබවකි....!
හිමිකාරීත්වය උමතුවකි....
විඩාව මොහොතකට සසල කළ - පිනිබිඳු මත යැපෙන්නට වුනි මා
කොඳුරා කී සුළඟ මීදුමට - ඉඩදෙන්නට මට දැකුමට දුර
හොරැහින් එදෙස බලන්නා සේ දැනුණද
උමතුව.... යැපීමක්ද...?
අනාදරයෙන් දෝ සුළඟ මීදුමෙන් නැවත මා වෙලාගත්තේ නොදී ඉඩක්
ඒ සුළඟය... ඒත් ආදරය...?
පැවසුවේ ඈ නිහඬවම ආදරේ බව
එකවර දැනුණේ නිදහසක්
සොයන්නට නොහැකි වුනි එහි අග මුලක්
සුළඟ නිදහස් .... නොම වේද ආදරය.... නිදහස්?
-කොමාවට සුළඟක්-




Comments
Post a Comment